Loading...

FACILITIES

අප දහම් පාසලේ ඇති පහසුකම්

Facilities of Sabarale Sri Gunarathana Dhamma School

සබරලේ ශ්‍රී ගුණරතන දහම් පාසල මගින් ක්‍රියාත්මක කරනු ලබන ශ්‍රී ගුණරතන කලායතනය

දුවා දරුවන්ගේ සෞන්දර්ය කුසලතා ඔප්නැංවීම වෙනුවෙන් ඉටු කරනු ලබන්නේ සැබැවින්ම අනගිභවනීය මෙහෙවරකි. දහම් අධ්‍යාපනයෙන් ලබන විනය හා ගුණධර්මවලට අමතරව, දරුවන්ගේ කලාත්මක හැකියාවන් ඔප්නැංවීම සඳහා සෑම ඉරිදා දිනකම දහම් පාසල් කාලසීමාව නිමවීමෙන් පසුව පැය තුනක කාලයක් පුරා මෙම කලායතන කටයුතු අති සාර්ථකව පවත්වනු ලැබේ. මෙහිදී චිත්‍ර, නැටුම් හා සංගීතය යන අංශයන්ගෙන් පාසල් විෂය නිර්දේශයට අයත් සියලුම න්‍යායාත්මක හා ප්‍රායෝගික කොටස් ආවරණය වන පරිදි සම්පූර්ණයෙන්ම නොමිලේ ඉගැන්වීම් කටයුතු සිදු කිරීම දෙමාපියන්ට මෙන්ම දරුවන්ට ද ලැබුණු මහඟු අවස්ථාවකි. මෙම පුහුණුවීම් හරහා දහම් පාසල සතු අභිමානවත් නර්තන කණ්ඩායම් සහ හේවිසි කණ්ඩායම් නිර්මාණය වී ඇති අතර, ඔවුන් විහාරස්ථානයේ හා දහම් පාසලේ පවත්වන උත්සව අවස්ථාවන් මෙන්ම පෙරහැර මංගල්‍යයන් ද විචිත්‍රවත් කිරීමට ප්‍රමුඛ දායකත්වයක් ලබා දෙයි. දහම් පාසල් ආචාර්ය මණ්ඩලයේ කල්පනී මෙනවිය සහ ආසිරි මහතා සිය පෞද්ගලික කාලය හා දැනුම කිසිදු ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවී කැප කරමින් සිදු කරන මෙම ස්වේච්ඡා මෙහෙවර දරුවන්ගේ පෞරුෂ වර්ධනයට සෘජුවම බලපා තිබේ. හුදෙක් විෂය කරුණු පමණක් නොව, දරුවන් තුළ රසඥතාවය හා කලාකාමී ගුණාංග වර්ධනය කරමින් පරිපූර්ණ දරු පරපුරක් සමාජයට දායාද කිරීම අපගේ අරමුණයි. එබැවින්, ඔබේ සහජ දක්ෂතා නිසි මගපෙන්වීමක් යටතේ ඔප්නැංවීමටත්, අපගේ දක්ෂ කලාකරුවන්ගේ පවුලට එක්වීමටත් සැම දෙනාටම ඉතා ලැදිව ආරාධනා කර සිටිමු.



ක්‍රමවත් විභාග සහ ඇගයීම් රටාව

සබරලේ ශ්‍රී ගුණරතන දහම් පාසලේ දුවා දරුවන්ගේ අධ්‍යාපන ප්‍රමිතිය සහ නිර්මාණශීලීත්වය උසස් මට්ටමක පවත්වා ගැනීම සඳහා ඉතා ක්‍රමවත් විභාග සහ ඇගයීම් රටාවක් අප විසින් ක්‍රියාත්මක කරනු ලබයි. මෙහිදී හුදෙක් ලිඛිත පරීක්ෂණවලට පමණක් සීමා නොවී, දරුවන්ගේ දහම් දැනුම ප්‍රායෝගිකව ජීවිතයට සම්බන්ධ කරගැනීම උදෙසා විවිධ ප්‍රායෝගික ක්‍රියාකාරකම් රාශියක් ද අධ්‍යයන කටයුතුවලට ඇතුළත් කර ඇත. දරුවන්ගේ ප්‍රගතිය නිරන්තරයෙන් නිරීක්ෂණය කිරීම වෙනුවෙන් සෑම මාස දෙකකටම වරක් විශේෂ පරීක්ෂණ පවත්වනු ලබන අතර, එමගින් ඔවුන්ගේ දුර්වලතා හඳුනාගෙන අවශ්‍ය මගපෙන්වීම් ලබා දීමට කටයුතු කෙරේ. මීට අමතරව දරුවන්ගේ නිර්මාණශීලීත්වය ඇගයීමට ලක් කරමින් විවිධ නිර්මාණාත්මක පැවරුම් ලබා දීම සහ එම නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශන පැවැත්වීම හරහා ඔවුන්ගේ සහජ දක්ෂතා දිරිමත් කරන අතර, මෙම විධිමත් අධ්‍යාපන හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් මාලාව තුළින් දහම් දැනුමෙන් මෙන්ම යහපත් ආකල්පවලින් සපිරි පිරිපුන් දරු පරපුරක් බිහිකිරීමට අප දහම් පාසල නිරතුරුවම කැපවී සිටියි.



ශ්‍රී තිලකානන්ද නාහිමි පුස්තකාලය

සබරලේ ශ්‍රී ගුණරතන දහම් පාසල් දුවා දරුවන්ගේ නැණස පාදනු වස් ස්ථාපිත කර ඇති අතුරලිය ශ්‍රී තිලකානන්ද නාහිමි පුස්තකාලය, දහම් දැනුමෙන් සපිරි බුද්ධිමත් පරපුරක් නිර්මාණය කරන ප්‍රධානතම දැනුම් කේන්ද්‍රස්ථානයයි. බුදු දහම, සදාචාරය, සාහිත්‍යය සහ ඉතිහාසය ඇතුළු විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අයත් වටිනා පොත්පත් රාශියකින් සමන්විත මෙම පුස්තකාලය, දරුවන්ගේ දහම් දැනුම වර්ධනය කර ගැනීමටත්, කියවීමේ රුචිකත්වය ඇති කර ගැනීමටත් මහඟු උපකාරයක් වේ. මෙවැනි විධිමත් පුස්තකාල පහසුකම් අප දහම් පාසල තුළ පැවතීම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ලැබුණු සුවිශේෂී ශක්තියක් වන අතර, එමගින් ගුණවත් මෙන්ම නැණවත් දරු පරපුරක් බිහිකිරීමේ උදාර අරමුණ තවදුරටත් අර්ථවත් වේ.